“බුද්ධානුස්සති මෙත්තා ච, අසුභං මරණස්සති,
ඉති ඉමා චතුරාරක්ඛා, භික්ඛු භාවෙය්ය සීලවා”
මෙත් දිය දහරින් සිසිල් වූ හදවතින් යුක්ත, තම හදකුටිය බුදු කුටියක් කළ, එළඹසිටි සිහියෙන් අසුභය දකිමින්, නිති මරණානුස්සතිය වැඩූ සිල් සුවඳින් සිරිලක් දිව ම සුවඳවත් කළ, මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ තෙළෙස්වන පරමපූජනීය මහානායක ධූරීනව වැඩ විසූ මැණික්හින්න, හූරීකඩුව විද්‍යාසාගර මහා පිරිවෙන් විහාරාධිපති, සාසන සෝභන, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, රාජකීය පණ්ඩිත, විනය විශාරද, විනයාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාර, සිරි සීලවංශලංකාරධජ, ත්රිපික වාගීශ්වර රාජගුරු, පරියත්ති විශාරද, ත්‍රිපිටක ධර්මචක්රවර්තී, ස්ථවිරවංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි අභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළ සේක.
මහනාහිමියන් සමඟ සමීප ඇසුරක් නොකළ ද උන්වහන්සේගේ ශිෂ්‍යවර බප/මිනු/ ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනේ පාලි විෂයභාර ආචාර්ය, ශාස්ත්‍රවේදී පූජ්‍ය වෑගල ධම්මජීව සහෝදර ස්වාමීන් වහන්සේ අප පිරිවෙන් නේවාසිකව වැඩ වසති. අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේගේ චරිතයෙන් මූර්තිමත් වන්නෙත් මහනාහිමියනගේ සදාශ්රයේ ගුණ මහිමය යැයි සිතමි. බෝහෝ දුරට අප සමඟ කළ සාකච්ඡාවන්හි දී මහා නායක හාමුදුරුවෝ මෙසේ යැයි. මහනාහිමියන්ගේ ක්‍රියා පිළිවෙත් හැසිරීම් පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කරමින් අප සමඟ සතුටුසාමීචියේ යෙදුණු අවස්ථා බොහෝ ය. මේ අප දැන කියා ගත් අප්‍රමාණ තොරතුරු වලින් අල්පමාත්රයකි.
අප නාහිමියන් දෛනික කටයුතු අරම්භ කරන ලද්දේ බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වී බුද්ධ වන්දනාවේ යෙදී පිරිත් සජ්ඣායනාව සිදු කර භාවනා කිරීමෙන් අනතුරුව ය. “වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති...” දේශනාව සිහිගන්වමින් මළු පෙත් මං හැමදීමෙන් වත් සම්පූර්ණ කළහ. දන් වැළඳීම නිසි වෙලාවට මනා සිහිනුවණින් ප්රත්යවේක්ෂාවෙන් සිදු කිරීම ජීවිතයට බද්ධ කාරණාවකි. සැදැහැයෙන් සසුන්ගත වූ උන්වහන්සේ තුන්වරුවක් බුද්ධ වන්දනාවේ යෙදෙන අතර ධර්ම චාරිකාවේ වැඩම වන අවස්ථාවන්හි දී සිය නිල රථයේ සිට සිතේ කෙලෙස් නුපදිනා පරිද්දෙන් පිරිත් සජ්ඣායනා කරති. සබ්‍රම්සරුන්ට පිය සෙනෙහසින්, දයාවෙන් හා ආදර්ශයෙන් මඟ නොමඟ කියා දී ආදර්ශයෙන් ක්‍රියා කළ උදාර සංඝපීතෘවරයෙකි. විනය කර්ම පිළිබඳ ප්‍රායෝගික දැනුම, වාචෝද්ගත කළ විනය ශික්ෂා පිළිබඳ ස්මරණය විස්මය දනවයි. ධර්ම දේශනයේ දී දක්වන වාග් චාතුර්යට ආභරණය වන්නේ ධර්මය පිළිබඳ සුනිශ්රිත පිවිතුරු ධර්මධාරණය යි. සංඝ සෝභන ගුණයෙන් රාමඤ්ඤ මහා නිකායට පහන්ටැඹ වූ සම්මා සම්බුද්ධ ශාසනය ජෝතිමත් කළ අතිපූජ්‍ය මහනාහිමියනි, ඔබවහන්සේ උතුම් අමා මහ නිවන් සුවයෙන් ම සැනසේවා!
මෙයට
බප/මිනු/ ශාන්ති නිකේත විද්‍යාපීඨ මූලික පිරිවෙනේ කෘත්‍යාධිකාරී පූජ්‍ය තිඹිරිගොල්ලේ රේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පරිවෙණාධිපති හිමි, ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයන් සියලු දෙනාගේ සාතිශය සංවේගය පළකර සිටිමු.

Comments
Post a Comment